Friday, February 6, 2015


ජීවිතයේ  අසිරිමත් අවදිය පාසැල් කාලයයි!

"නෙලුම් මල් පිපුණු දෙවැට දිගේ පාසැල් ගිය කාලේ............................
තවත් වරක්.........., තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් මම යනවා............
තවත් වරක්.......... තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් හරිම අගෙයි...........! " - ක්ලැරන්ස් විජේවර්ධන

දුවේ, පුතේ, ඔයාලා ඕනෑම වැඩිහිටියෙකුගෙන් හෝ ඔයාලගේ අම්මිගෙනුයි, තාත්තිගෙනුයි ඇහැව්වොත්, එයාලගේ ජීවිතයේ ප්‍රියතම කාලය මොකක්ද කියල, ඔයාල දන්නවද ඒ හැම කෙනෙක්ම දෙන උත්තරය?  එයාල එකපාරටම කියයි, "අපි ඉස්කෝලේ ගිය කාලය" කියල.  එහෙම කියන වෙලාවට එයාලගේ ඇස් දීප්තිමත් වේවි, කට කොණකට සිනාවක් නැගේවි! ඒ මොකද දන්නවද?  එයාල ඒ වෙලාවට ඒ ඉමිහිරි අතීතයට නොදැනුවත්වම ගිහින් නිසා.  ඉතින් දුවේ, පුතේ, ඔයාල නම්, මගේ අදහස් එක්ක දැන් එකඟ වෙන එකක් නැහැ.  නමුත් මම දන්නවා, පුංචි ඔයාලත් වැඩිහිටියන් බවට පත් උනාම, මගේ අදහසට එකහෙලාම එකඟ වේවි කියල.

දැන් නම් ඔයාල හිතනවා ඇති,  "අනේ ඉස්කෝලේ යන එක කොයි තරම් අමාරුද?" කියල. මොකද............උදේ නැගිටින්න ඕනේ, පාඩම් කරන්න ඕනේ, හැමදාම ඉස්කෝලේ යන්න ඕනේ, ගෙදර වැඩ කරන්න ඕනේ, නැත්නම් ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න ඕනේ.  එහෙම නේද?  සමහර විට ඔයාල ගේ ළඟ ඉස්කෝලෙකට යන්නේ නැත්නම්, ගොඩාක් පාන්දරින් වාහනවල හිර වෙලා, තද වෙලා යන්න ඕනේ.  ඒවා පුංචි ඔයාලට අමාරු නැහැ'යි කියල මම කියන්නේ නැහැ.  ඒත්........... පුතේ දුවේ, ඔයාල වැඩිහිටියන් උනාම ඔයාලට වැටහේවි, ඒවා මොන ප්‍රශ්ණද කියල. 

ඉස්සර මම පුංචි කාලෙත් ඔයාල වගේ හිතුව තමයි.  මම හිතුවේ අපේ තාත්තලට නම් තමන්ට  ඕනේ දවසට, වැස්ස දවසට එහෙම ගෙදර ඉන්න පුළුවන්, සල්ලි ලැබෙනවා, එයාලට ඕනේ ඕනේ දේවල් ගන්න පුළුවන් කියල.  ඒත් .......... මම වැරදි බව මට වැටහුනේ ඊට ගොඩක් කාලෙකට පස්සේ.  රැකියාවක් කරන්න ගත්තට පස්සේ, තමන්ගේ හිතුමතේට ගෙදර ඉන්න පුළුවන්කමක් නැහැ.  එයාලට අනිවාර්යයෙන්ම සම්පුර්ණ කළ යුතු වැඩ කොටසක්  තියෙනවා. නිවාඩු තියෙන්නෙත් අවුරුද්දටම සීමිත ප්‍රමාණයක් විතරයි.  ගුරුවරුන්ට හැර, අනිත් රැකියාවල නියුතු අයට ඔයාලට වගේ නිවාඩු නැහැ.  ගුරුවරුන් උනත්, ඔයාල වගේ පාසැල ඉවර උනාම ගෙදර ගියත්, එයාලට අනිවාර්යයෙන්ම කළ යුතු වැඩ කොටසක් ගෙදර තියෙනවා.  ඒවගේම පසුවදා, ඔයාලට ඉගැන්විය යුතු පාඩම් වලට ලක ලැහැස්ති වෙන්න ඕනේ.  ඒවගේම, එයාලට ලොකු වගකීමක් තියෙනවා ඔයාල ගැන.  ඒ කියන්නේ, ඔයාලගේ අනාගතය නියමාකාරයෙන් සකසන එක.  ඒක ඔයාලගේ අම්ම තාත්තට වගේම, අනෙක් ඕනෑම වැඩිහිටියෙකුට තියෙනවා.   වගකීම කියන දේ, ඔයාල හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.  එක හරිම භාර දූර ක්‍රියාවක්. 

ඒ වගේම, ඕනෑම වැඩිහිටියෙකුට තම තමන්ගේ පවුලේ කටයුතු, අසල්වාසීන්ගේ කටයුතු, සමාජ කටයුතු වගේ නොයෙකුත් දේවල්වලට සහභාගී වෙන්න ඕනේ, ඒවායේ වගකීම දරන්න ඕනේ.  නමුත් මොනවද ඔයාලට තියෙන්නෙ? අම්ම තාත්ත ඔයාලට කැමති දේවල් කන්න බොන්න, අඳින්න දීල, ඉස්කෝලේ යන්න අවශ්‍ය දේවල් සපයල දීල,  තවත් අමතර ඔයාල ඉල්ලන දේවල් අරන් දීල, ඔයාලගේ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරන්න, සතුටු දායක කරන්න තමයි එයාලගේ ජීවිතේ කැප කරන්නේ. 

ඉතින් දුවේ, පුතේ, වැඩිහිටියෙක් වශයෙන්, මවක් වශයෙන්, මම මේ කියන්නේ, ඔයාලගේ ඒ සුන්දර පාසැල් කාලය නිකරුනේ, අසුන්දර දේවල් වලින් පුරවා ගෙන, සුණු විසුණු කර ගන්න එපා!  මොකද?  ඒ සුන්දර පාසැල් කාලය ආයෙත් කවදාවත් ඔයාලගේ ජීවිතේට එන්නේ නැහැ.  නමුත්, ඒ මනස්කාන්ත කාලය වැඩදායි විදිහට යොදාගෙන, දෙමව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන් කියන හොඳ දේවල් හිතට අරගෙන, ඒ අවවාද අනුශාසනා හොඳින් පිළිපැද්දොත්, හොඳින් ඉගෙන ගත්තොත්, ඔයාලාගේ අනාගතය ඉතාම විචිත්‍රවත් ලෙස සකස් කරගන්න  හැකි වේවි! 

ඔයාලට පොතේම ඇලී ගැලී ඉන්න ඕනේ කියල මම කියන්නේ නැහැ.  ඔයාල සෙල්ලම් කරන්න ඕනේ, යහළුවන්ව ඇසුරු කරන්න ඕනේ, සංගීතයට ඇහුම්කන් දෙන්න ඕනේ. සින්දු කියන්න, නටන්න, උත්සව වලට සහභාගී වෙන්න ඕනේ.  ඒ සියලු දේටම කාලය සැකසුරුවම් කමින් බෙදාගෙන, සුදුසු ලෙස කාලය ප්‍රයෝජනයට අරගෙන, ගමට, රටට, ලෝකයට වැඩදායි පුරවැසියන් උනොත්, ඔයාලගේ ලෝකය ආකර්ෂණීය කර ගන්නට හැකි වේවි! ඒ වගේම ඒ තත්ත්වයට ඔයාලට ලඟා වෙන්න  උදවු උපකාර කළ දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ සහ සියලු වැඩිහිටියන්ගේ ප්‍රර්ථනා ඉෂ්ඨ කිරීමට ඔයාලට හැකි වේවි!        

ඉතින් දුවේ, පුතේ, ඒ අතිසුන්දර පාසැල් කාලය, ජීවිතය පුරා නොමැකෙන සිහිවටනයක් කර ගැනීමට මතක තබා ගන්න.  එවිට, ඔයාලා  වැඩිහිටියන් වූ විට, පුංචි දුවෙක් පුතෙක් ඔයාලගෙන් "ජීවිතයේ සුන්දරම කාලය මොකක්ද?" කියා විමසු විට, දැන් වැඩිහිටියන් ඔයාලට දෙන උත්තරය වගේම, "අපි ඉස්කෝලේ ගිය කාලය" කියල උජාරුවෙන් කියන්නත්, දීප්තිමත් ඇස් වලින්, කට කොණකට සිනාවක් නඟාගෙන, ඒ අතිරමණීය අතීතයට සිතින් පියමං කරන්නත් පුළුවන් වේවි! 

හිටියොත් හොඳට හැඳී, දෙවියොත් නමට වඳී!


- ශ්‍රිමල් චම්පිකා වික්‍රමසිංහ - 

1 comment:

  1. Love this Ammi!!! Though it has not been ages ago I still miss school days.. Mostly my A/L period. I met the best of friends who I know will remain with me for a life time. Last but not the least I am so immensely proud of you for everything you do Ammi and I can't ask for a better role model!!

    ReplyDelete