Saturday, December 27, 2014



නත්තල බෞද්ධයෙකුගේ ඇසින්..................

"සීතල සුළං හමයි - තරුවක් අහසේ දිලෙයි
සෙනෙහස දෝරෙ  ගලයි -  සමිඳුන් මා ළඟමයි"  සමිතා මුදුන්කොටුව, සුනිල් පෙරේරා ඇතුළු කණ්ඩායම

එදා දෙසැම්බර් මස 19  වෙනිදායි.  ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ 4 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා මගේ දියණියගේ යෙහෙළියකගේ දියණිය සහභාගී වන නත්තල් කැරොල් ගීත  බැලීමට මමද මගේ දියණිය සමඟ බම්බලපිටියේ තුන්මුල්ල හංදියේ ආර්කේඩ් මන්දිරයට හවස 6.00 පමණ වන විට ගියෙමු.  එදා වැහිබර දිනයකි.  නමුත් පාසැල් කිහිපයක ළමුන් සහ දෙමව්පියන් සමඟ ඔවුන්ගේ ඥාතීන්, යහළුවන් සහ වැඩිහිටියන් සෑහෙන පිරිසක් එහි පැමිණ සිටියේ දරු දැරියන්ගේ නත්තල් ගීත, නාට්‍ය ආදිය බැලීමටයි. 

එම සංදර්ශනය පටන් ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී අපිද එහි ලඟා උනෙමු.  එදා මුළු ආර්කේඩ් මන්දිරයම නොයෙකුත් පැහැ'ති විදුලි බුබුළු වලින් ඉතා අලංකාරවත් ලෙස ආලෝකමත් වී තිබුණි. එසේම නත්තල් සැරසිලි වලින්ද හැඩ වී තිබුණි. අමුත්තන් හට වාඩි වී සිටීමට අසුන් පනවා තිබිණ. අපි අසුන් ගෙන, කුඩ ඉහලාගෙන ඉතා නොඉවසිල්ලෙන් බලා සිටියේ එම නත්තල් කැරොල් ගීතය පටන් ගන්නා තුරුයි.  රතු සහ කොළ පැහැයෙන් යුක්ත දිගු ගවුම් වලින් සැරසී සිටි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ දැරියෝ පේළි 4කට සෑදී රතු සහ කොළ පාටැ'ති  කාඩ් පත් රැගෙන සිටියෝය. 

පියානෝ වාදනයත් සමඟ අනෙකුත් සංගීත භාණ්ඩ වල තත්සර ක්‍රමයෙන් ගුවන සිසාරා හඹා යන විට, මෙම පුංචි දැරියන් ඉහත සඳහන් ගීය ඉංග්‍රීසි බසින්, සිංහල බසින් සහ දමිළ බසින් ගයන්නට වූහ.  ඒ හා සමඟම අත් චලනය කරමින් ඉතා සියුම් රංගනයක ද යෙදෙන්නට විය.  පැමිණි සිටි පිරිස මීයට පිම්ඹාක් මෙන් නිසලව එම ගීය අසද්දී, ඒ සැවොම නත්තල් අසිරියෙන්ද, දෝරෙ ගලන සෙනෙහසින්ද,  යේසුස් සමිඳා තමන් වෙත පැමිණ ඇතැයි'ද ආගම් භේදයකින් තොරව සිතූ බව මට වැටහුණ බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවන්නේ, බෞද්ධයෙකු වූ මටද එලෙසෙම සිතුනු බැවිනි. එහි ක්‍රිස්තියානි භක්තිකයන්, බෞද්ධ භක්තිකයන්, මුස්ලිම් භක්තිකයන් ආදී නොයෙකුත් ආගම් භක්තිකයන් පැමිණ සිටි බව මම දනිමි.  ඒ සියළු දෙනාම මෙම ගීතයන් සහ නැටුම්, නාට්‍ය සතුටින් නැරඹු බව ඔවුන්ගේ මුහුණු වලින් පෙනුණි. 

එදින රාත්‍රියේ  අප නිවසට පැමිණෙන විට, මගේ දියණියද කීවේ "අම්මි, ඇත්තටම ඒ අවස්ථාවේ යේසුස් වහන්සේ පිලිබඳ හරිම භක්තියක් ආවා"  කියායි.  එවිට මම ඇයටද කීවේ මටත් එසේම දැනුණු බවයි.  එවිට මට හැඟුනේ, එම සිතිවිලිම අන් අයගේ සිත් තුලද ඇතිවෙන්නට ඇතැ'යි කියාය.  ඇත්තෙන්ම කිවහොත්, සෑම ආගමකින්ම කියවෙන්නේ, අන් අයට කරදරයක් නොකර, මෛත්‍රියෙන්, කරුණාවෙන්, ආදරයෙන් ජීවත් වීම අගනා බවයි.  අපේ බුදු රජාණන් වහන්සේද කියා ඇත්තේ සියළුම ආගම් වලට ගරු කළ යුතු බවයි. 

එසේ නම්, ඇයි මේ ආගම්, ජාති, කුලමල භේද?  අපි සියළුම දෙනා අයිති මනුස්ස සංහතියට මිස, වෙන කිසිම දෙයකට නොවේ.  මිනිසාගේ යහපත් පැවැත්ම පිණිස ආගමක් අවශ්‍ය බව සත්‍යයකි.  ඒ සෑම ආගමකින්ම කියවෙන්නේ එකම අදහසකි.  ගව ලෙනේ ඉපදුනත්, රජ මාළිගාවක ඉපදුනත්, මනුෂ්‍යත්වය විදහා පෑමට හැකියාව ඇත.  එසේම හැමට කරුණාව, මෛත්‍රිය, ආදරය පෑ හැකිය.  උදව්වක් අවශ්‍ය වෙලාවක සහය දීමට හැකිය. 

වෛශ්‍යාවක් යනුවෙන් හංවඩු ගැසූ ස්ත්‍රියකට ගල් ගැසීමට යන කල,යේසුස් සමිඳානන්  ඔවුන්ට කීවේ කිසිම වරදක් නොකළ අයෙක් ඇත්නම්, ඉදිරියට අවුත් පළවෙනි ගල ඇයට ගසන්න යනුවෙනුයි.  නමුත් කිසිවෙක් ඉදිරියට ආවේ නැත.  මන්ද?  අපි කා අතිනුත් වැරදි සිදු වී ඇත.  සෑම ආගමකින්ම කියනුයේ එම වැරදි හදාගෙන, ජීවිතය ඉදිරියට ගෙන යා යුතු බවයි.  

එසේනම් ඇයි මේ කෝලාහල?  යුද්ධ?  සටන්?  සාමයේ කුමරුගේ ඉපදීම සමරන මේ නත්තලේ  සෑම ජාතිකයෙක්ම, සෑම ආගමිකයෙක්ම සිතට ගත යුතු වැදගත්ම කරුණක් වන්නේ ජාති, ආගම්, කුල මල  භේද නොසලකා සාමයෙන්, සමගියෙන්, එකිනෙකා කෙරෙහි මෛත්‍රියෙන්, කරුණාවෙන් ජීවත් වීමයි.  අපි මෙලොවට එනවිට කිසිවක් රැගෙන ආවේ නැත.  අපි කිසිවක් ගෙනයන්නේ ද නැත.  නමුත් අපි රැගෙන යන එක දෙයක් ඇත.  ඒ හොඳ හෝ නොහොඳ පමණි.  නමුත් අපි ගෙන යා යුත්තේ මේ දෙකින් කුමක්ද?  හොඳ පමණි.  එවිට අපේ නම සදාකල් මේ ලෝකයේ, මේ විශ්වයේ රැව් පිළිරැව් දෙනු ඇත. 

 ලෝකෙට දෙන්න මෙදා - සාමේ දානේ බෙදා
සමිඳේ තැන තැන ලෝකෙ පුරා - සමාදානේ සෙත ඔබෙ  පතුරා 
යන්නට මා  ඔබෙ අතේ දරා  - ගනු මැන අවියක් ලෙස තෝරා -  ලතා වල්පොල මහත්මිය

-        -  ශ්‍රිමල් චම්පිකා වික්‍රමසිංහ

No comments:

Post a Comment