Thursday, December 25, 2014


ක්‍රියාවෙන් අවබෝධය

නාට්‍ය රඟ දැක්වීම සහ සහජ දක්ෂතාවයන් එළි දැක්වීම

දරුවන් කුඩා කාලයේ සිට සාමාන්‍යයෙන් නැටුම් වලට, රංගනයට, සංගීතයට සහ සෙල්ලමට ඉතා ප්‍රිය කරයි.  පාඩම් කිරීමට වඩා ඔවුන් විශේෂ ඇල්මක් දක්වනුයේ නිතැතින්ම එන ඔවුන්ගේ ශරීර අංග චලනයටයි.  දැන් පෙර පාසැල් වලද මුල් අවධියේ කරනුයේ දරුවන්ගේ මෙම දක්ෂතාවයන් ඉදිරියට ගෙන නොයෙකුත් උපාංග භාවිත කර හෝ බුද්ධිය මෙහෙයවා ඔවුන්ගේ සැඟවුණු මෙම සහජ දක්ෂතාවයන් එළි පෙහෙළි කිරීමයි.  පෙර පාසැල් සහ පාසැල්වල කනිෂ්ඨ අංශයේ,  වසරක් තුළ  සාහිත්‍ය දිනය, ඉංග්‍රීසි දිනය, කුශලතා දිනය යනුවෙන් නොයෙකුත් විවිධ ප්‍රසංග පවත්වනු ලබයි.  වසර අවසානයේදී නිමාඩු දීමට ප්‍රථම, අනිවාර්යයෙන්ම විවිධ ප්‍රසංගයක් පවත්වනු ලැබේ.  මෙය අප කුඩා කාලයේ පටන් පැවතෙන සිරිතකි.  මෙයට දරුවන්ගේ මා පිය වැඩිහිටියන්ටද  ඇරයුම් කරනු ලැබේ.    දරුවන්ගේ සහජ කුසලතාවයන් මෙමඟින් එළි දක්වනු ලැබේ.  තම දරුවන්ගේ නිපුණතාවයන් දැක මව්පියන් සහ වැඩිහිටියන් ඉතා සතුටට පත් වේ. 

අද කාලයේ මෙම දක්ෂතාවයන්ට නොයෙකුත් මාධ්‍ය වලින්ද උදවු උපකාර ලැබේ.  කුඩා ළමුන්ට මෙන්ම තරුණ තරුණියන් හටද, මෙම අවස්ථාවන්ට ඉදිරිපත් වී තම හැකියාවන් මුළු ලොවටම පෙන්නීමට හැකියාවක් මේ සමාජයේ ඇත.  මෙම රංගනයන් ශ්‍රී ලංකාවේ මෙන්ම මුළු ලෝකයේම එළි දැක්වේ.  එමනිසා වර්තමානයේ දරුවන් හට, අපේ කාලයේ මෙන් නොව, අධ්‍යාපනයෙන් පමණක් නොව, සංගීතයෙන්, රංගනයෙන්, නිවේදන අංශයෙන්, ප්‍රචාරක අංශයෙන්, කලාවෙන් ආදී සෑම අංශයකින්ම ඉදිරියට ඒමේ හැකියාව ඇත.  එම අවස්ථාව උපයෝගී කරගෙන තම සහජ හැකියාවන් දියුණු තියුණු කර ගැනීමට දෙමව්පියන් සහ වැඩිහිටියන් දරුවන්ට අත දිය යුතුය.

තවද කලාව යනු යම් විධියක භාවනාවකි.  අපේ මොළයේ ඇති සියළුම අංශයන් අවස්ථාවට අනුරූපව භාවිතා කිරීමට අප උත්සුක විය යුතුය.  මෙම කලා හැකියාවන් ප්‍රයෝජනයට ගැනීම අධ්‍යාපනයටද ඉමහත් රුකුලක්  වේ.  වේදිකාවක පෙන්වන නාට්‍ය අනුසාරයෙන්, සමාජයට බොහෝ ප්‍රයෝජනවත් අදහස් සහ පාඩම් ප්‍රකාශ කළ හැකිය.  අපේ කාලයේ රඟ දැක්වූ "නරි බැණා " නමැති නාට්‍යයෙන්, අපේ මුතුන් මිත්තන් පොරොන්දු ඉෂ්ඨ කිරීමට පසුබට නොවූ අයුරු මෙන්ම, තැනට සුදුසු නුවණ පාවිච්චි කළ අයුරුද  මොනොවට පැහැදිළි වේ.

 "කුමටද සොබනියෙ කඳුළු සලන්නේ, හේතුව මම නොදනිම් - ගිරිහෙල් තලයේ ඇති මගෙ නිවසට මම ඔබ ගෙන යන්නම්....."  යන ගීතය ප්‍රචාරය වීමේදී, සැබැවින්ම එම නාටයෙයේ මම කුඩා කාලයේ රඟ පෑ ගොවිරාළගේ චරිතාංගයට මගේ සිතිවිලි කැඳවා ගෙන යනවිට, මට  දැනෙන රසාස්වාදය වචන වලින් කියා නිම කළ නොහැක. 

එවැනිම නාට්‍යයන් වන "හුණුවටයේ කතාව" අනුසාරයෙන් පෙන්වා දෙන්නේ වැදූ මවට වඩා හැදූ මවගේ දරුවාට ඇති අකලංක ආදරයයි.  එම නාට්‍ය වලින් රසාස්වාදාත්මක පණිවිඩය විදහා දක්වන්නේ  කතාවෙන්, රංගනයෙන් පමණක් නොව, ප්‍රේක්ෂකයින් සිනා සයුරේද ගිල්වමිනි.  එවිට එම කතාවෙන් කියවන මුල් අරුත සිතේ මුල් බැස ගන්නා අතර වැඩිහිටියෙක් වු පසුවත් එම රසාස්වාදය සිතේ සනිටුහන් වේ. 

තවද, කළගෙඩි නැටුම්, ලී කෙළි නැටුම්, කුළු නැටුම් ආදී නොයෙකුත් නැටුම් වර්ග මෙන්ම උඩරට, පහතරට නැටුම් ආදියෙන් ද ලැබූ මනස්කාන්ත අත්දැකීම් ආදියද, නාට්‍ය තරඟ වලට ඉදිරිපත් වී ලැබූ අත්දැකීම් සහ ලබා ගත් තෑගි බෝග, සහතික පත්‍ර යනාදියද අපේ ප්‍රීතියට හේතු වුවා සේම,  තවමත් එම ප්‍රීතිය අපේ සිතේ රැව්පිලිරැව් දේ.   ඒ හා සම්බන්ධ කවි, ගී ආදියද තවමත් මතකයේ රැඳී ඇත.  ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් මිඳී, මෙවැනි නැටුම් ගැයුම්, වැයුම් ආදියට සහභාගී වීමෙන්, එදත් අපි සතුටක් වින්දෙමු. එසේම අදත් මෙවැනි ක්‍රියාවන්ගෙන් දරුවන් සතුටක් ලබන බව මට සක්සුදක් සේ පැහැදිළිය.         

කලාත්මක ක්‍රියාවන්ට සහභාගී වීමෙන් දරුවෙකුගේ අධ්‍යාපනයට බාධා පැමිණෙනු ඇතැ'යි කිසිවකුට කිව නොහැකිය.  කලාත්මක සිතිවිලි වලින් පෝෂණය වන දරුවාගේ කල්පනා ශක්තිය වැඩි දියුණු වන අතර, කණ්ඩායම් වශයෙන් කටයුතු කිරීමට සහ තමන් කරන කියන සෑම කටයුත්තකින්ම වින්දනයක් ලැබීමටද දරුවා පෙළඹේ.  තවද, අන් අය ගැන සැළකිලිමත් වීමට මෙන්ම, අන් අයගේ සිතැඟියාවන් වටහා ගැනීමට සහ ඔවුන්ගේ අදහස් වලට ගරු කිරීමටද කුඩා කල සිටම පුරුදු වේ.  ඉවසීම, කරුණාව, දයාව, ආදරය, නම්‍යශීලිත්වය  ආදී හොඳ ගුණාංග දරුවා තුළ වැඩේ.  සමාජයේ කැපී පෙනෙන චරිතයක් වීමටද මඟ පෑදේ.   එක දෙයක් කෙරෙහි බොහෝ වේලාවක් අවධානය යොමු කර සිටීමට පුරුදු වන දරුවා, තම පාඩම් කෙරෙහිත් එවැනිම අවධානයක් යොමු කිරීමට හැකියාව ලබයි. 

ක්‍රියාවෙන් ලබන අවබෝධය, එක තැන වරු ගණන් අධ්‍යාපනය සඳහා කාලය යොදමින් ලබා ගන්නා දැනුමට  වඩා ඉක්මණින් සහ පහසුවෙන් ලබා ගැනීමට දරුවාට හැකියාව ලැබේ.  එමනිසා, ළමුන්ව නාට්‍ය, නැටුම්, සංගීතය වැනි ක්‍රියාවන්ට සහභාගී කරවීමට තවත් පමා නොවී, අදම පටන් ගනිමු. දරුවන්ගේ  සැඟවුණු සහජ දක්ෂතාවයන් මොට නොකර ඉදිරියට රැගෙන යමු.  ඒ සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම දෙමව්පියන්, වැඩිහිටියන් වශයෙන් ළමයින්ට නොපැකිළව ලබා දෙමු.

අද සමාජයේ දරුවන්ගේ අධ්‍යාපනයට ලබා දෙන සහයෝගයට සමාන රුකුලක්, නැටුම්, ගැයුම් සහ  වැයුම්  ආදියටද එකසේ ලබා දෙමු!   

"අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලී -  දුවන්න පනින්න නටන්න ගයන්න  එන්න මගේ නංගී...."  නන්දා මාලනී
  

No comments:

Post a Comment